Wednesday, December 5, 2012

හදේ කොතැනක හෝ හිඳී ඔබ

--------------------------------------------------------------------------
හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙළා හස රැහැනින්
පෙළයි මා මුදා සුව දැහැනින්

සයුරු ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තළා මා සිත පලා ගිය ඔබ
දවලයි මා - අද
තනි වෙනා මොහොතින්

උතුම් පිවිතුරු පේ‍්‍රමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර
යදින්නම් - ඔබ
මැකී යනු මතකින්

---------------------------------------------------------------------------------------------------------
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය     -  
ගායනය     -    සුනිල් එදිරිසිංහ
----------------------------------------------------------------------------------------------------------
මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න.
මෙම ගීතයේ වරදක්, දත්ත වල වරදක් තිබේනම් නිවැරදි කරනු පිනිස comments වල දමන්න.
----------------------------------------------------------------------------------------------------------
ගීතයේ කතාව
----------------------------------------------------------------------------------------------------------


සිය පි‍්‍රයාව ගේ වෙන් ව යෑමෙන් ඉක්බිති ශෝක නමැති ගින්නෙන් තැවෙන්නකු ගේ සංවේදනා නිරූපිත ගී පැබැඳුමෙකැ යි ඉඳුරා පැවැසිය නොහැකි නිමැවුමෙකි මේ. අනඟ සරයෙන් පහරනු ලැබීමෙන් ආතුර වූවෙක් ද නො වේ මේ. පේ‍්‍රම වියෝගයෙන් සන්තාපයට පත් වූවකු ගේ ශෘංගාරාත්මක හැඟීම් ද මේ ගීතයට විෂයය නො වේ.
වෙන් ව ගිය ලලනාව මතකයෙහි බලපවත්වමින් හද දැවිලි ගන්වමින් පෙළාලීමේ දුක්ඛය මෙහි සංක්ෂිප්ත ලෙස නිරූපිත යි. කාලයේ බැම්මෙන් බැඳී පවත්නා සුඛාස්වාද බන්ධන පිළිබඳ සැමැරුම් කථකයා තුළ වෙයි. ඒවා වරින්වර මතකයට එළැඹීමෙන් ඔහු තුළ ඇතිවන විප්‍රලම්භ ශෘංගාරය මුඛ්‍ය රසය කොට ගත් ගීතයක් ද නො වේ මේ.
හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙළා හස රැහැනින්
පෙළයි මා
මුදා සුව දැහැනින්
කුමාරදාස සපුතන්ත්‍රී
කථකයා වැද හිඳින සුව දැහැන බිඳ හැර පෙළන්නියකි ඈ. නිදා නොනිදා මෙන් හිඳ, කල් අවසර දැන, හස රැහැනින් වෙළා පෙළමින් ඇය කථකයා ගේ හදෙහි කොතැනක හෝ තවමත් හිඳියි. අද ඔහු වෙළා ගන්නේ ‘හස’ හෙවත් සිනහව (හාසය) නම් රැහැනෙනි. ඒ හාසය ඇය පෙර ඔහු ගේ මන නුවන් පැහැර ගත් හාසය යි. ඇය දැනුදු ඔහු හදෙහි කොතැන හෝ හිඳිමින් සරාගි ලීලා පාමින් ඔහු සිතැ ඒකාග්‍රතාව බිඳ හරියි. කථකයා ඒ සියලු සැමැරුම් සුබ අරමුණු ලෙසින් නො ගනී.
ඈ හා ගෙවුණු අතීත ජීවිතයා ගෙන් උරුම වූ සියලු අවුල්, තැවුල්, පරිපීඩනාදියෙහි අවසන ඔහු සිත යම් සැනැසුම් සහගත බවක් අත් විඳියි. එය සුව දැහැනකි. සුවය දනවන සමාධියකි. එහෙත් අදිසි ව ඇය කරන පෙළීම් තව ද නිමා නැත.
රචනයෙහි මේ පූර්ව භාගය විමසන කල පද සංවිධානයෙහි ව්‍යක්ත භාවය හා බන්ධනයෙහි ලිහිල් බව ද සිලිටි බව ද හඳුනා ගත හැකි වේ. හුදු වචන සමූහයා වෙයි. එනම් වදනින් පවසනු වෙනුවට චිත්ත රූපී මාර්ගයකට එළැඹීම යි. හදේ කොතැනක හෝ නිදා නො නිදා මෙන් හිඳින, අවසර කල් දැන, හස රැහැනින් වෙළා පෙළන, සුව දැහැන බිඳින කතක පිළිබඳ මනෝ චිත්‍ර කිහිපයක් සහෘදයා තුළ මැවුමට සමත් මේ චිත්ත රූපී එළැඹුම, කුමාරදාස සපුතන්ත්‍රී නම් කෘතහස්ත ගීත නිබන්ධකයා ගේ කාව්‍යාත්මය ප්‍රකට කරනු සමත් වෙයි.
සැබැවින් ම මේ අදෘශ්‍යමාන කාන්තාව ගේ ක්‍රියා කලාපය මනැසේ ම නිර්මිතයක් වුව ද, මෙහි යම් ඉන්ද්‍රිය ගෝචර බවක් ඇතැ යි පදමාලාව පමණක් තනි ව ගෙන විමසන්නකුට හැඟෙයි. නිබන්ධකයා ගේ සංවේදනය සෘජු භාෂණයෙන් නො ව ගීතයට සරිලන ව්‍යංජනා ගුණ සහිත ව කැරෙයි.
‘සයුරු ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ’
ගීතයේ මේ දෙවැනි භාගයේ දී අප මේ පැවැසූ චිත්ත රූපික බස තව ද ප්‍රශස්ත ලෙස ගොඩනැංවෙනු පෙනෙයි. සයුරු ඉමැ රත් සිතිජ රේඛාව ම, ඇතැ යි පෙනෙන, එහෙත් සැබෑවක් නොවන මායා දර්ශන මාත්‍රයකි; එය මායමකි; ඇස්බැද්දුමකි. මායම (මායා) යන්නෙහි වංචාව, කපටිකම, රැවටිම, උපක්‍රමය යනාදි අරුත් ද වෙයි. තමා සමග වැස, දුක් දී පලා ගිය ඇය ද එබඳු මායාවකි. ‘සයුරු ඉම රත් සිතිජ රේඛාවේ’ යන යෙදුම සහෘදයා තුළ, ඇය පිළිබඳ මෙබඳු චිත්ත රූපික ඇඟැවීමක් පහළ කරතැයි සිතේ.
‘මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ’ යන පාදය සමඟ මේඝදූතයෙහි එන එක්තරා යෙදුමක් සිහිපත් වෙයි. එහි එන තරුණ දෙවියා වෙත, පුරා වර්ෂයක් විඳිය යුතු වූ දඬුවමක් කුවේරයා විසින් පමුණුවන ලදී. විරහයෙන් ආතුර ව මෙසේ විඳිය යුතු වූ දඬුවමින් ‘අස්තංගත වූ මහිම’ ඇති ව ය ඒ තරුණ දෙවියා විසුවේ. (අස්තංගමිතමහිමා) මේ වූ කලි හිරු අවරට යෑම අරුත් ගන්වන පදයකි. අස්තංගත වීමෙන් අලංකාරය හෝ අගය (මහිමය) දුරු වී යයි. තනිකම, අන්ධකාරය, පාළුව කාන්සිය මේඝ දූතයෙහි ඒ යෙදුමින් අප තුළ දැනැවේ.
සුනිල් එදිරිසිංහ
‘මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ’ යන්න ද මේ කාමිනිය ගේ නික්ම යෑම, (අස්තංගත වීම) එයින් හට ගත් ජීවන අන්ධකාරය කථකයා මුහුණ දුන් අඳුරු කල දශාව පිළිබඳ සංවේදන තීව්‍ර කරන උක්තියකි. ‘මියෙන හිරු බිම් අඳුරේ ගිලී යෑම’ අගතියෙහි ගැලුණු ඉව බව නැති සමාජ භූමිය වෙත ඇය නික්ම ගිය බව ඇඟැවීමට සමත් වෙතැ යි සිතේ.
එසේ පලා ගිය ඇය කථකයා තනි වූ මොහොතක් බලා අද ද ඔහු දවාලයි.
මෙබඳු සිත් රිදීම් පවත්නා තැන ආදරයෙහි පැවැත්ම නැත. එකී පැවැත්මෙන් තොර ව ඇය හා සුඛකාමය සොයමින් ගෙවූ නොගැඹුරු ජීවිතය වැඩි කල් නොගොස් වෙහෙස දනවන බව වටහා ගැනීමට කථකයා අපොහොසත් වූයේ ය.
පෙර සැමැරුම් යළි යළි සිහියෙහි පිවිස නිබඳ ඔහු දවාලන්නේ තමා විඳි සියලු සුඛාස්වාද කාලයේ බැම්මෙන් බැඳී ඇති නිසා ය. කථකයා මේ හිරිහැරය, අභියෝගය සහිත නිරර්ථක අතීතයෙහි එල්බගෙන වර්තමානය මඟ හැරීමට අකැමැති ව මෙබඳු අයැදුමක් කරයි.
“උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර
යදින්නම් - ඔබ
මැකී යනු මතකින්”
හෙතෙම උතුම් පිවිතුරු පේ‍්‍රමයක් සහිත ව විසූවෙකි. ඒ හා බැඳුණු ඉමහත් ප්‍රාර්ථනා සහිත ව විසුවෙකි. මෙකී ශක්තීන්හි බල මහිමය සහිත ව ඔහු කරන යැදුම සත්‍ය ක්‍රියාවක් බඳු ය. ඒ සඳහා ඇය අභිමුඛයෙහි සිටිය යුතු ම නැත. සත්‍ය ක්‍රියාවෙහි බලයෙන් මතකයෙන් පවා, වහා (ඉනූ කඳුල ද සිඳෙන්නට පෙර) මැකී යන්නැ යි හෙතෙම යදියි.
පීඩාවන් අභාවයට යෑමට නම් ඒවා කෙරෙන් තොර ව ජීවත්වීමේ සුන්දරත්වය තමා ම අවබෝධ කළ යුතු ය. පූර්ණ වර්තමානය සඳහා අතීතයේ මේ මහත් බර විසුනු කොට දැමිය යුතු ය.
ගීතෝක්තියක් ලෙස මේ අයැදුම සොඳුරු විය හැකි වුව ද, එය අර්ථවත් පෙලැඹුමක් නම් නොවෙතැ යි සිතමි.
අතීත වේදනාකර ස්මරණයන් ගෙන් බේරීම පිණිස යමකු වෙනතක පලා ගිය ද, ඒ අතීතය හා වන සබඳතා කෙරෙන් සපුරා වෙන් වනු හැකි ද? යථා තත්ත්වය තේරුම් ගත හැක්කේ මෙබඳු රිදවුම්, පෙළීම්, මතක, සංවේදනා ඇසුරෙහි ම ය. කථකයාට ඇය පිළිබිඹු වන්නේ විඥානය නමැති කැටපතෙහි ය. ඒ විඥානගත පිළිබිඹුව ඇති තාක් කොතැන කවර හෝ අන්දමින්, යැදීම් මාත්‍රයකින් ඒ පිළිබිඹු නවතාලිය නොහැකි ය. ඒ ස්මරණ හා සමඟ සබඳතාව මඟින් ම, ඒවා හා නොඇලී ඒවා පරාජය කළ මනා ය.
එහෙත් ගීත ප්‍රබන්ධකයාට මෙබඳු දෘෂ්ටියක් සිය නිමැවුමෙන් පළ කිරීමේ ඉඩ අවකාශ මඳ ය. අප රචකයා මේ පලා යෑමට මුල් වූ තතු කිසිවක් අනාවරණය කිරීම පවා ගීත නිබන්ධනයේ කාර්යය ලෙස වටහාගත්තෙක් නො වේ. හෙතෙම අපට රිසි පරිදි ඒ තතු ගොඩනඟා ගැනීමට ඉඩ හරියි. සපු, ප්‍රයත්න දරන්නේ ඇය අදිසි ව වෙසෙමින් කරන පෑරීම දැනැවීමට යි. පලා ගිය කත, කථකයා ගේ මනැසෙහි හැසිරෙමින් කරන පෙළීම සංකල්ප රූපී ලෙස නිරූපණයට වැඩි අවධානයක් යොමු කිරීමෙන් රචකයා හට සිය ගීතයේ ප්‍රකාශනයේ සංක්ෂිප්ත භාවය වඩාලිය හැකි විය. එනිසා ම වචන බාහුල්‍යයෙන් තොර ව අර්ථ ව්‍යක්තියට හේ සමත් වෙයි.
තව ද මේ කෘතහස්ත නිබන්ධකයා සිය පැබැඳුමෙන් පළ වන භාවය දියුණු කිරීමට සමත්, විධිමත් ලෙස නිමැවුණු ස්වර රචනාවකට ඉඩ සලසාලන්නේ සිය භාෂා චාතුර්යයට හානි කර නො ගනිමිනි. ශබ්ද මාධුර්යය සඳහා හෙතෙම සිය පරිකල්පනයෙහි බස අභිරුචියෙන් කැප කරන්නෙක් නො වෙයි. ශබ්ද අර්ථ යන දෙවැදෑරුම් කරුණු පිළිබඳ ව වූ මහත් අවධානය මේ නිමැවුමෙහි ප්‍රකට වෙයි.
රෝහණ වීරසිංහයන් මෙහි දී යමන් කල්‍යාණ් රාගයේ ඇසුර ලැබීමට හේතු කොට ගෙන, ගීතයේ වස්තු විෂයයේ අනුවේදනය තීව්‍ර වෙයි. ඔහු ගේ මේ මධුර තනුව හා උපයුක්ත සංගීතය පැබැඳුමෙහි වන රසභාව හා අත්විඳීම සමඟ පෑහෙයි. සුනිල් එදිරිසිංහ ගායනවේදියා ද ශ්‍රැති, තාල, ලය ඥානයෙන් පරිමිත මධුර හඬින් ගීයෙහි ප්‍රකාශනය හා ගැළැපෙන ගායන නෛපුණ්‍යයක් පළ කරයි.
තමා කෙරෙන් ඉකුත් වූ ‘ඇය’ පිළිබඳ හැඟීම ප්‍රතිසංස්කරණය කළ නො හැකි නටබුන් වූ තත්ත්වයක් බව මේ ගීතයෙන් ගම්‍ය වෙයි. මිය ගිය දෙයට ජීවන හුස්ම පිඹීමෙන් යළි එයට ප්‍රාණ වායුව දිය හැකි නො වේ. ‘ගිය දේ ගියා වේ.’ ජීවමාන වර්තමානය වෙනුවෙන් වන මානසික සහනය තරම් අනගි කිසිවක් ලොව තවත් පවතිනු ඇද්ද? (උපුටා ගැනීම සිලුමිණ පත්‍රයෙනි)

1 comment: