යුගයක්‌ රසගැන්වූ නිහඩ රසවතෙක්‌, වර්නන් පෙරේරා

යුගයක්‌ රසගැන්වූ නිහඩ රසවතෙක්‌, වර්නන් පෙරේරා

උපුටා ගැනීම  - දිවයින පුවත් පත 


සංගීත විෂයය න්‍යායාත්මකව ද ප්‍රායෝගිකවද ඉතා හොඳින් හදාරා ඒ පිළිබඳව පිළිගත් ආයතනයන් වෙතින් ලද සහතිකලාභීන් බොහෝ වෙති. ඔවුන්ගෙන් ඇතැම්හු එකී ක්‍ෂේත්‍රයේ උසස්‌ තනතුරු හොබවති. එහෙත් ඒ අතරින් ශ්‍රාවක හද දිනූ සුමියුරු ගී තනු නිර්මාපකයන් මතුව එන්නේ අල්ප වශයෙනි. ඔවුන් බොහෝ දෙනකුට ඊට අවස්‌ථාව නොලැබී තිබීමද ඊට හේතු විය හැකිය. එසේම එය නොහදාරා සිය නිසඟ හැකියාව වෙර වීරිය උත්සහය නිසා අත්දැකීම් ඔස්‌සේ පරිණත වෙමින් රසිකයන් අතර සිය නම රැන්දූ ශිල්පීන් ද වෙති. සිංහල සංගීත ක්‍ෂේත්‍රයේ එදා මෙදා තුර ජනප්‍රිය වූ සැළකිය යුතු ගී නිර්මාණයන් සංඛ්‍යාවකට හිමිකම් කියන්නට මෙකී කණ්‌ඩායමේ සාමාජිකයන් ද සමත් වී සිටිති. මෙකී නාමාවලියේ 70 දශකය නියෝජනය කළ ප්‍රමුඛයන් අතර රැඳෙන ඔහු ප්‍රවීන ගායන ශිල්පී ගීත රචක තනු නිර්මාපක වර්නන් පෙරේරාය. අද ද එකසේ ජනප්‍රියත්වයේ පවතින නිර්මාණ රැසක තතු සමගින් එදා ඔහු කළ කී දෑ පිළිබඳ ලුහුඬු විමසුමකි මේ.

"මම උපත ලැබුවේ ගාල්ලේදී ඒ කාලයේ අපි ජීවත් වුණේ මවගේ ගම්පියස වූ අම්බලන්ගොඩයි. පවුලේ එකම දරුවා වූ මා ද සමඟින් දෙම්වපියන් සමඟ ගල්කිස්‌සේ පදිංචියට පැමිණියේ මගේ ළදරු වියේදීමයි. කොළඹ තර්ස්‌ටන් විදුහලින්ද පසුව මරදානේ ස්‌ටැෆර්ඩ් ආයතනයෙන් ද අධ්‍යාපනය හැදෑරුවා.

60 දශකයේ මැද භාගයේ රත්මලාන මැලිබන් හන්දියේ පැවැත්වූ සංගීත සංදර්ශනයන්ට අනිවාර්යෙන්ම මා සහභාගි වෙන නිසා ඒ ප්‍රදේශයේ කිසියම් නමක්‌ දිනාගෙන සිටියා එහිදී නිතර ගැයුවේ ජෝතිපාලයන්ගේ ගීත.

මංගල උත්සවයකදී මුණගැසුණු චිත්‍රානන්ද අබේසේකර නම් කෘතහස්‌ත ගුවන් විදුලි මාධ්‍යවේදියා විසින් දෙන ලද උපදෙස්‌ අනුව ගුවන් විදුලියේ නවක මඬල නම් වැඩසටහනට අයෑදුම්පතක්‌ යොමුකර එහි හඬ පරීක්‍ෂණයට සහභාගි වුණා. අපේ සමකාලීන ගායන ශිල්පියකු වූ රන්ජන් ජයතිලකත් එදා ඊට සහභාගි වුණා. එහි තවත් ජ්‍යෙෂ්ඨයකු වූ ආනන්ද සරත් විමලවීරයන් නිෂ්පාදනය කළ එකී වැඩසටහන වෙත යොමු කරන ලදුව ඒ වෙනුවෙන් මා නව ගීතයක්‌ ගායනා කළ යුතුව තිබුණා. එවකට ප්‍රචලිතව පැවතියේ හින්දි ගී සඳහා සිංහල වදන් යොදා ගායනා කිරීමේ ප්‍රවණතාවයක්‌. ඒ අනුව මා තෝරාගත් තනුවක්‌ උදෙසා ගීතය ලියවා ගන්නට එහි සේවය කරන එක්‌තරා මහතකු හමුවන්නැයි කියා සිටියා ඔහු තනුව කුමක්‌දැයි විමසා විනාඩි දෙකක්‌ තරම් සුඵ කාලයකදී ගීතය වචන සම්පූර්ණ කර දුන්නා.

"සිතිවිලි රැළි ලා දියකඳ කැලතේ "- "ගඟතල මතුපිට ඔරුව පැදේ " ස්‌තුති කර සමුගෙන යන්නට පෙර නම විමසා සිටිද්දී ප්‍රේමකීර්ති ද අල්විස්‌ ලෙස ලියාගන්නට යෑයි කියා සිටියා. ඔහු එදා ඒ කටයුත්තේ පෑ දස්‌කම අදහගන්නටද බැරි තරම්. පසුව අගනුවර ප්‍රමුඛ පෙළේ ආයතනයක සැලසුම් ශීල්පියකු ලෙස රැකියාවක නිරත වෙද්දී එහිදී මුණගැසුණු ගී රසවතුන් වූ ලක්‍ෂමන් - ජගත් ප්‍රනාන්දු සමගින් රේන්ජර්ස්‌ නමින් ගායක කණ්‌ඩායමක්‌ පිහිටුවා ගත්තා. ඉන් පසුව අප පානදුර ප්‍රදේශයේ දක්‍ෂ තනු නිර්මාපකයකු සහ සංගීත සංයෝජයකු වූ වෛද්‍ය රංජිත් බොලොන්නේ සමඟ එක්‌වී බිහිකරන ලද නව සංගීත කණ්‌ඩායම හඳුන්වා ගත්තේ ද සන්ෂයින් නමින් මේ කණ්‌ඩායම් සංගීතයෙන් මුඵ රටම පුබුදු වූ යුගයක්‌ වූ 1970 දශකයේ මුල් භාගයයි.

සෙසු ගායක කණ්‌ඩායම් අනුගමනය කරමින් අප ද තැටියක්‌ නිකුත් කළා. මා ලියු ගීත 04 කට වෛද්‍ය බොලොන්නේ තනු නිර්මාණයෙන් දායක වුණා. එයින් පොපියන දෙතොලේ මතුවන හසරැලි සහ ඔයා මගේ සුරංගනා කථාවේ අතිශයින් ජනප්‍රිය වුණේ එදා ගුවන් විදුලියේ කණ්‌ඩායම් ගී වැඩසටහන නිසයි.

මේ අවධියේ වෙළෙඳ තැටි ඔස්‌සේ නිතිපතා නව ගීත විශාල වශයෙන් බිහිවෙමින් පැවතෙද්දී මා හිතවත් ගායන ශිල්පී අනිල් භාරතී වෙනුවෙන් ද මගේ පංතියේ ඉගෙනගත් (පුංචි සරෝජිනී) සහ ඉරුදින පමණක්‌ නොව යන නව ගීත දෙකක්‌ රචනා කර දෙනු ලැබුවා. ඒ ඇල්බමයේ ගැයුනු සෙසු ගීත යුගළය වූ දෑස විදාලා ඔහු එන සහ බඹරෙකු හැඬුවා මල්සර වැදුණා කේ. ඩී. කේ. ධර්මර්ධනයන්ගේ ගී පද රචනා මේවාද අප ගායක කණ්‌ඩායමේ නියමුවා වූ වෛද්‍ය රංජිත් බොලොන්නේගේ තනු සහ සංගීත සංයෝජනයන් බව කිව යුතුයි. එසේම ඔහුට මා විසින් ලියූ "ටිකිරිමලී පාසල් යන" - මා මුලින් ලියූ පෙම්පතේ" - "සුදුවැලි පාරේ අත්වැල් බැඳ" යන මේ ගී උදෙසා ක්‌ලැරන්ස්‌ විඡේවර්ධන තනු නිර්මාණය සිදු කරනු ලැබුවා.

සමුගෙන යන්නෙමි නමින් වූ 70 දශකයේදී මා ගැයූ මුල්ම යුග ගීතයේ සහය ගායිකාව ඉන්ද්‍රාණි පෙරේරා එය කරුණාරත්න අබේසේකරගේ පද රචනයක්‌ ක්‌ලැරන්ස්‌ විසින් සංගීතවත් කළ අවස්‌ථාවක්‌ ඒ යුගයේදීම ඇය වෙනුවෙන් මම ද ගීත කිහිපයක්‌ රචනා කරනු ලැබුවා. ඒ අතර සිංහල බයිලා ගී සම්ප්‍රදායේ ප්‍රමුඛයකු වූ වොලි බැස්‌ටියන් මාස්‌ටර්ගේ ගී තනු අනුව දිගේ අද වාගේ එසේම කුමාරිහාමි මා උඩරට හොඳ මෙන්ම ලාල් තේනබදුගේ සංගීතයට අනුව ජැන්ඩි පහට ඇඳලා ස්‌ටැන්ලි පීරිස්‌ගේ තනුව අනුව මයුරි මගේ සුදු මිල්ටන් පීරිස්‌ තනු නිර්මාණය කළ තිළිණේ ලෙසින් පිළිගන්වමි. ක්‌ලෝඩ් ප්‍රනාන්දු සංගීතවත් කළ ඔළිඳ කැලේ හිමිදිරියේ යන මේ ගීත අදත් එකසේ ජනප්‍රියයි.

මා තනිව ගැයූ මුල්ම ගීතය වූ රන් තැල්ලක්‌ ගෙල බැන්දේ නිකුත් වූයේ ද වෙළෙඳ තැටියකින්. එය කේ. ඩී. කේ. ධර්මවර්ධන විසින් රචනා කළා. එහි තනුව මයික්‌ ගුණසේකරගෙන් කැසට්‌ යුගයේ දී ඒ උදෙසා සරත් මුණසිංහ ලියූ රූ සිරිය ඇගේ ක්‌ලැරන්ස්‌ ලියු "කඩුපුල් මලක්‌ පිපිලා" වැනි ගීත ගායනා කළා.

ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි වෙනුවෙන් වෙළෙඳ තැටි නිෂ්පාදකයන් සම්බන්ධිකරණය සිදු කරමින් ඒ වෙනුවෙන් "රෝස මල් කොපුල් තලේ" - "මගතොටදී ද නැත හමුවන්නේ "- එදා කීවේ නෑ ඔයා නම් යන ගී ලියා තනු නිර්මාණය කරනු ලැබූ අතර ලාල් තේනබදු සංගීත අධ්‍යක්‍ෂණයෙන් සහය වුණා.

බටහිර වේග රිද්ම ශෛලිය ප්‍රියකරන ශ්‍රී ලාංකීය රසිකයන් පිනවූ මේ කණ්‌ඩායමේ තවත් ප්‍රමුඛ සාමාජිකාවක්‌ වූ මරියසෙල් ගුණතිලක ගැයූ ක්‌ලැරන්ස්‌ ගේ තනුවක්‌ වූ "යොවුන් සිහින ලෝකේ "ගී පද මෙන්ම දිලිසෙන ඇස්‌ වලින් තනුව හා ගී පද හිමිකම් මා සතුයි. ඔහුගේම තවත් ජනප්‍රිය තනුවකට සමන් ද සිල්වා ගයන "තණනිල්ල දිගේ "සහ අර්නස්‌ට්‌ සොයිසාගේ තනු රටා වූ "රන්රස වාගේ ගැලපෙන්නේ" හා "නියරේ පිය නගලා" මේ ලැයිස්‌තුවට ඇතුළත්. ක්‌ලැරන්ස්‌ගේ තනු අනුව ටී. එම්. ජයරත්න ගැයූ සොවින් බර නුවන් සහ "සීගිරි ළඳුනේ" හේමසිරි හල්පිට හා එක්‌ව මා ලියූ ගීත බවද සඳහන් කළ යුතුයි.

මීට පසු කාලයකදී මා මිත්‍ර රූකාන්ත ගුණතිලක වෙනුවෙන් ළඳේ මුලා වී ලිව්වේ ඔහුගේම තනුවටයි. මීට අමතරව ශීල්පී නිහාල් නෙල්සන් වෙනුවෙන් ලියාදුන් ගී පෙළ විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒ අතර ලාල් තේනබදුගේ සංගීත රටා අනුව "කරුණා සුවඳ තවරාලු - " "ලස්‌සන ඇස්‌ දෙක පුංචි කරන් -" "ටිකිරි සිනා පාලා -" නම ගම අසලා සහ ටවර් හෝල් යුගයේ නුර්ති ගීයක්‌ වූ දන්න වං හුං නාදරටාව අනුව ලියූ ඔන්න එකමත් එක රටක යන මේවා එකසේ ජනප්‍රිය වූවා එසේම මා ලියු "කිංකිණි හඬට සමවෙනා" ගීතයට නැසී ගිය සංගීතවේදී ස්‌ටැන්ලි පීරිස්‌ විසින් එක්‌කරන ලද කරත්ත කවි සැක්‌සෆොaන් අනුවාදනය එහි රසය දෙගුණ තෙගුණ කරනු ලැබුවා.

ඔහු විසින් තනු නිර්මාණය කරන ලද මා ලියූ ශිල්පි ප්‍රියා සූර්යසේන ගැයූ "හදවත ඉල්ලා" නම් ගීතයේ නාද මාලාව ගැමි නිවෙස්‌ හි එකල ගැයූ වෙස්‌සන්තර ජාතක කවි නාද මාලාව අනුව සකසන ලද්දකි.

තවද ධනපාල උඩවත්ත ගයන හෙක්‌ටර් විඡේසිරි ලියූ මා "ආදරණිය මගේ අම්මා" තනුව නිර්මාණය කර දුන්නේ මා විසිනි. මේ ශිල්පීන් ගැයූ මා පබැඳූ මෙහි සඳහන් නොවන වෙනත් නිර්මාණ ද බොහෝයි.

එදා අප එකමුතුව මේවා නිර්මාණය කළේ මේ ක්‍ෂේත්‍රයට තිබුණු ඇල්ම සහ බැඳීම නිසාම මිසක කිසිසේත් ආර්ථික ප්‍රතිලාභ අපේක්‍ෂාවෙන් නොවේ. එසේ මා ලියු ගැයූ තනු නිර්මිත ගීත සියල්ලම පාහේ අඩසියවසකට ආසන්න කාලයක්‌ ගතවීත් එකසේ ශ්‍රාවක හදවත් දිනා සිටීම පිළිබඳව මට ඇත්තේ නිහතමානී සතුටක්‌ බව අවසන් වශයෙන් කිව යුතුයි.

 ප්‍රභාත් රාජසූරිය
මුල් සබැදිය - මෙතනින්
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.


Comments