සක්මන් කරන මළුව පාළුයි දේවී - Sakman karana maluwa palui devi

සක්මන් කරන මළුව පාළුයි දේවී - Sakman karana maluwa palui devi


දස්කොන් - සක්මන් කරන මළුව පාළුයි දේවී - මං විතරයි ඔබ කිසි දිනක නොඒවී
ප්‍රමිලා - ඉක්මන් ගමන් එපා පා පැකිළේවී - දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී


දස්කොන් -සෙංකඩගල වටකල - පවුරු වලල්ලේ
                 පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
                 සෙංකඩගල වටකල පවුරු වලල්ලේ
                 පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
ප්‍රමිලා - රන්තරු දෑස පියන රෑ හඳපානේ - අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ

දස්කොන් - සක්මන් කරන මළුව පාළුයි දේවී - මං විතරයි ඔබ කිසි දිනක නොඒවී
ප්‍රමිලා - ඉක්මන් ගමන් එපා පා පැකිළේවී - දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

දස්කොන් - වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ - දෑසින් වැටෙන කඳුලු මට සිහිනොවුනේ
                  වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ - දෑසින් වැටෙන කඳුලු මට සිහිනොවුනේ
ප්‍රමිලා - ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ - මා තනිකරන්නෙපා මතු සංසාරේ

දස්කොන් - සක්මන් කරන මළුව පාළුයි දේවී - මං විතරයි ඔබ කිසි දිනක නොඒවී
ප්‍රමිලා - ඉක්මන් ගමන් එපා පා පැකිළේවී - දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී


මෙය සත්‍ය ඉතිහාස කතා පුවතක් වටා ගෙතුන ගී පබැදුමකි. ඒ ශ්‍රී වික්‍රම නරේද්‍රසිංහ රජ සමයේදී සිදු වූවකි. අසම්මත ප්‍රේමයක් වුවද එහි චමක්කාරය හා ආදරණීය බව හා ඉන් පසුව සිදු වූ හද සසළ කරවන සිදුවීම් නිසා ජන කතාවක් ලෙසට අදටත් සිංහල ජන මතකාය් ඉතිරිව පවතී

ගැස්කොන් නොහෝත් සිංහල උරුවට දස්කොන් ප්‍රංශ නැවියෙකි. දෙවැනි රාජසිංහ රජතුමන්ගේ සිරකරුවකු ලෙස කලක් සිට නිදහස ලබා පසුව පෘතුගීසි කාන්තාවක් හා විවාහව පේදෘෘ - ගැස්කොන් නොහොත් මේ කතා පුවතේ දස්කොන් හට උපත ලබා දේ. 

කුඩා කල සිට හගුරන්කෙත රජ මාලිගය අසල හැදි වැඩුනු දස්කොන් ඉගෙනීමේ දැක්වූ දස්කම් නිසා සූරියගොඩ කිත්සිරි මෙවන් නම් සාමනේර හිමි ඇසුරෙන් සිංහල භාෂා ප්‍රවීනත්වය ලැබීය. 

තම වයසේ පසුවූ රජුගේ පුත් නරේද්‍රසිංහ කුමරු සමග දැඩි මිත්‍රත්වයක් ගොඩනගාගෙන සිටි දස්කොන්, නරේද්‍රසිංහ කුමරු ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ ලෙස රාජාභිෂේක ලැබූ පසු මහා අධිකාරම් තනතුර ලැබීය. 

සිංහලේ අවසාන රජු වන නරේන්ද්‍රසිංහ රජු රජකමට වඩා කෙළිලොල් ජීවිතයකට හුරු වි තිබීමත්, කලහකාරී සහ කෘෘර ගති සහිත වූවකු වූ බැවින්ද, සුරාව, සූදුවේ සහ ස්ත්‍රීය කෙරේ ලොල් වූ අයෙකු වූ බැවින් ද සෙල්ලම් නිරිඳු යන අනුවරුත නාමය ද ජන වහරේ පට බැඳිනි. මෙම කාල වකවානුවේ සාමාන්‍යෙයන් රජවරු සිදුකළා වූ ආකාරයටම ඔහු ද ඉන්දියාවෙන් වංශක්කාර කුමාරියක් පිය රජු විසින් සොයා බලා තුබූ අතර, එසේ ගෙන්වාගත් කුමරියක හා 1708 දී සරණ පාවාගෙන ඇත. මෙය කාලවකවානුවේ ඉන්දියාවේ නායක්කර් රාජකීය වංශයේ කුමරියක් හා විවාහ වීම රාජ්‍ය බලය නොනැසී ඉන්දියාව සතු කර ගැනීමක් හා සමාන ය. අපට බොහෝ ලේඛනවන සහ ජනවහරේ අසන්නට ලැබෙන ඉන්දියාවෙන් ගෙන්වා සරණ පාවා දුන් මෙම කුමරිය නමින් ප්‍රමිලා විය.

ඉතිහාස කථාවල සඳහන් වන පරිදි රජුට ප්‍රමිලා පමණක් නොව තවත් බිසවන් කිහිප දෙනෙක් සිටීන ලද අතර තවත් එක් බිසවක් ලෙස පෘතුග්‍රීසීන් විසින් උපායශීලීව රජුට ලංකළ කුමාරිකාවක් ද විය. කෙසේ වෙතත් මෙම කාලවකවානුවේ රජු පෘතුග්‍රීසීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ද බොහෝ කටයුතු කර තිබේ. නරේන්ද්‍රසිංහ රජුටද පෙර කී පරිදි හඟුරන්කෙත, කුණ්ඩසාලේ සහ සෙන්කඩගල නමින් රාජ වාසල තුනම විය. ප්‍රමිලා හඟුරන්කෙත රජමාලිගයේ රඳවා සිටීය.

තමන් කුඩාකල සිටි ආශ්‍රයකළ දස්කොන් ව මහා අදිකාරම් ධූරයේ පිහිටුවයි. දස්කොන් සහ ප්‍රමිලා අතර ප්‍රේමයක් හට ගනුයේ ඉන් අනතරුවයි කියා බොහෝ ලේඛනවල සඳහන් ය. ප්‍රමිලා දස්කොන්ගේ කවි සිතුවිලි වලට සහ කඩවසම් පෙනුමට පෙම් බැන්දේ ය. සමහර ඉතිහාස කථාවල කියවෙන පරිදි මොහුන්ගේ ප්‍රේමය කවි වලින් ප්‍රකාශකර ගෙන ඇත. ප්‍රමිලා හඟුරන්කෙත රජ වාසලේ විසීමත්, රජු වැඩිපුර සන්කඩගල රජ වාසල විසීමත් හේතුවෙන් ප්‍රමිලා සහ දස්කොන් අතර, දැඩි ප්‍රේම බන්ධනයක් හට ගැනීමට මනා පසුබිම සකස් කර දී තිබිණ.
මා දස්කොන් සහ ප්‍රමිලා අතර හුවමාරූ වූවායි සැලකෙන පහත කවි උපුටා ගැනීමකින් දැක්විය හැක.

යන්නෝ මෙමඟ රෑ දහවල තොර වෙත්ද
බොන්නෝ මෙගඟ දිය බොර කරලා යත්ද
දෙන්නෝ පහස ගෙට අඬගහලා දෙත්ද
දන්නෝ උපා මිණි බැඳිදොර නාරිත් ද?


ප්‍රේමානුරාගයෙන් වෙළෙන්න ඇය කතා කරයි. කතා කරනා විට එය හැර යන්නේ කවුරුද? ඇය දස්කොන්ගෙන් අසයි.

අකුරු කළේ කුමට ද නුවණ මඳ ගුරු
හකුරු කැලේ දමති ද දියවී යන තුරු
කපුරු මලේ සුවඳට වැනසෙති බඹරූ
කපුරු මලේ දැක දැක නොකරන් වියරූ


හකුරු කැලයේ දිය වී යන්න දමා තිබෙනු බව මා දනිමි. නමුත් බඹරු කපුරු මලට එක් වී විනාශ වී ගිය ද මෙය මාහට ද හැර යා නොහැක. දස්කොන් පෙරළා ප්‍රමිලාට කියයි.

අවසානයේ දී මෙම ප්‍රේමය රජවාසල බොහෝ දෙනෙකුට ප්‍රසිද්ධ රහසක් විය. දස්කොන්ගෙන් පළි ගැනීමේ චේතනාවේ සිටි සමහරෙක් මෙම කාරණය ඉත්තෙක් කර ගැනීමට මාන බැලූහ. එකල බොහෝ සිංහලයන් දස්කොන් සමඟ පිටතට නොපෙන්නුව ද අමනාපයකින් පසු විය. මෙයට ප්‍රධාන හේතුව දස්කොන් මිෂනාරි කටයුතුවල සම්බන්ධ වී සිටීම ය. කාලයාගේ ඇවෑමෙන් ප්‍රමිලාට අභිරහස් රෝගයක් හට ගැනිණි. රෝගය සදහා හේතු විමසූ දෛවඥයන් මේ සඳහා අග මුල ගලපා තීරණයකට ආවේ බලි තොවිලයක්කල යුතු බවත්, ඒ සඳහා ප්‍රමිලාගේ රුවට සමාන මැටි අනුරුවක් අවශ්‍ය බවත් ය. එකී කාර්යය දස්කොන් මූර්ති ශිල්පියකු ලවා රුවක් අඹවන ලදී. දස්කොන්ගේ දැනිමේ පරිදි මැටි අනුරුවේ අඩු පාඩුවක් යැයි සලකා ප්‍රමිලාගේ කලවා ප්‍රදේශයේ වූ උපන් ලපයක් මෙම රූපයට යෙදී ය. ඉතාහස කථාවල තවත් ආකාරයකින් මෙය අසන්න ලැබේ. එනම්, උපන් ලපය ඔහුව රජුට අසු කිරීමේ බලාපොරොත්තුවෙන් ඔහු සමඟ අමනාපයෙන් සිටි වෙනත් අයකු විසින් මෙය කරනලද බවයි. සැබවින්ම උගත්කමක් තිබූ දස්කොන් මෙම කාර්යය කළාද නැතිනම් දස්කොන් සමඟ බොහොදෙනෙකු අමනාපයෙන් සිටි බැවින් ඔහු හසුකරලීම සඳහා වෙනත් අයකු විසින් උපන් ලපය තැබුවාද යන්න ගැටලුවකි. නමුත් දෙවෙනි ආකාරයට එය සිදු වී නම් ඇයගේ කලවා ප්‍රදේශයේ උපන් ලපයක් ඇතිය කියා වෙනත් කවුරුන්ද දන්නේ?

රජු මෙම බලි රූපය දැක සතුටු වූ නමුදු ඉහත ලපය කෙසේ, කවුරුන් තැබුවාද යන්න පිළිබඳව සැකයක් ඇති කරගත්තේ ය. කෙසේ හෝ අවසානයේ කරුණු සොයා යාමේදී දස්කොන් සම්බන්ධ විය යුතු බව රජුට දැනගන්නට ලැබිණි. ඒ සමඟ ම මෙම පෙම් පුවත ද රජු අනාවරණය කර ගන්නා ලද අතර රාජ උදහසට නතු වූ දස්කොන් සිරගත කෙරිණී. නව මහ අදිකාරම් ලෙස ලෙව්කේ රාළ පත් කෙරිණි. දස්කොන් තමන් නිවැරැදියි පවසා නොක්කාඩු මාලය නමින් පද්‍ය සංග්‍රහයක් ලියා ලෙව්කේ රාළ මගින් රජුට ලැබීමට සලස්වනු ලැබුවද ලෙව්කේගේ සිතේ ද දස්කොන් ගැන තිබූ ක්‍රෝධය හේතුවෙන් සිතූ එය ලබා දීම සිතා මතාම පමා කරන ලදී. කිසිදු නිදහසට කාරණයක් දස්කොන් ඉදිරිපත් නොකරන්නේ යැ යි සිතූ රජු දස්කොන්ගේ අවසාන ය ලියන ලදී. ඒ අනුව දස්කොන් බෝගම්බර දංගෙඩියට ගෙනගොස් පුරාණ දෙතිස් වධයෙන් එක් වදයක් වූ හිස ගසා මරා දැමීය. මෙම හිස ගසා දැමීම 1715 දී පමණ සිදු වී යැයි විශ්වාස කෙරේ.

දස්කොන් මරා දැමීමෙන් පසු දස්කොන් සමීපය ඇසුරුකළ ගොන්සාල්වේස් පියතුමන් ද සිරකරනු ලබන නමුත් පියතුමන්ගේ අනුගාමිකයන් පිරිසක් දස්කොන් සහ පියතුමන් නිවැරැදි බවට කරුණු දක්වයි. මේ හේතුවෙන් නව මහ අදිකාරම් ලෙව්කේ රාළ සිරගත කෙරූ අතර, මෙම සිද්ධියට දස්කොන්ට සිංහල අකුරුකළ සූරියගොඩ කිත්සිරි තෙරුන් අදාළ යැයි ගොන්සාල්වේස් පියතුමන්ගේ අනුගාමිකයින් පැවසීම හේතුවෙන් උන්වහන්සේගේ හිස ගසා දමී ය. සුරියගොඩ තෙරුන් අප හොඳින් අසා ඇති බෞද්ධ වීර චරිතයක් වන වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ගේ ගුරු හාමුදුරුවන් ය. බුද්ධ ශාසනයට කිසිදු රජුගෙන් අනුග්‍රහයක් පෙර සිට නොතිබූ බව දත් වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ද තමාට අනතුරක් වේදෝ බිය හේතුවෙන් වහා පලා ගිය හ.



උපකාරක ලිපි:-
http://blog.indranama.com/2010/03/daskon-pramila
http://yadaminbeda.blogspot.com/2012/11/blog-post_9404.html

පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ - Rathnath Sri Wijesinghe
තනු නිර්මාණය : ගුණදාස කපුගේ - Gunadasa Kapuge
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ - Karunarathna Diulgane
සමිතා මුදුන්කොටුව - Samitha Mudunkotuwa
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.



2 comments:

  1. nice site, thanks for sharing this lyrics
    don't forget to visit this awesome site : http://ezlyrics.us

    EZLyrics

    ReplyDelete
  2. Very nice post. Keep posting like this type of song...

    ReplyDelete