මේ තරම් සියුමැලිද කළු ගල් - Me tharam siyumalida kalu gal

මේ තරම් සියුමැලිද කළු ගල් - Me Tharam Siyumalida kalu gal


මේ තරම් සියුමැලිද කළු ගල් - හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත් - දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා

කලා වැව ලඟ ඉලුක් හෙවනක - මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු - මැරෙන ඉපදෙන රළ දිහා
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ - පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු - තවම තනිකඩයැයි කියා
තවම තනිකඩයැයි කියා

මේ තරම් සියුමැලිද කළු ගල් - හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත් - දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා


රචකයා ප්‍රථමයෙන් ම එක්තරා කල්පිත සිද්ධියක් මවාගනියි. එනම් අවුකන බුදුන්ටත් දෑස දුන් මිනිසා සොයා යාමයි. එවැනි සිතුවිල්ලක් පහළ වූ හේතුව වන්නේ කලුගල් මේ තරම් සියුමැළි ද යනුවෙන් සිතන්නටවත් බැරිනිසා ය. පැරණි කලා නිර්මාණ පිළිබඳ ව ඇතිවන විශ්මිත බව මේ තුළින් ප්‍රථමයෙන් ම මතුවෙයි. ඒ අතර අවුකන පිළිමය විශ්මිත බවෙන් සුවිශේෂවෙයි.

දැවැන්ත කළුගලකට බුද්ධ ලීලාව ආරෝපණය කරමින්, මහා කරුණාබර ගුණය ගල්කටුව හා මිටියට එක්කොට දෑස්වලට එක්කිරීම සැබැවින් ම විශ්මිත කටයුත්තකි. එහෙත් රචකයා ඒ විශ්මිත බව තුළ ජීවත් වෙමින් දේ්ශාභිමානය මර්දනය කිරීම නම මූලික අරමුණු කර නොගනී.

එදා සිට අද දක්වා කලාකරුවන්ගේ ඛේදවාචකය මෙහි අන්තර්ගත ය. ටජ්මහල සමඟ ලියැවෙන්නේ සාජහන් ගේ නමයි. සීගිරිය සමඟ ලියැවෙන්නේ කසුප් රජුගේ නමයි. ඒ මහා කලාකෘති නම කළ කලාකරුවන් කොහිද? ඔවුන් පස් අතරේ නිහඬ ව වැළලී ගොසිනි. ඇතැම් ජනප්‍රවාද වලට අනුව මේ රජවරුන්ම ඔවුනට විවිධ පීඩා සිදුකර තිබේ.

එහෙත් මේ මහා කලාකරුවන් වූ කලී උපේක්‍ෂාව ප්‍රගුණ කළ පිරිසක් ම ය. මේ කලාකරුවා බලාසිටින්නේ කලාවැවේ මැරෙන ඉපදෙන රැලි දෙස ය. අනිත්‍ය ධර්මතාවය ඔහු කලාවැවේ රැලි මත්තෙන්ම අවබෝධකර ගනී. මහා කළුගලක් මත ගොඩනැඟෙන බුදුරුවට ඔහු තම ජීවිත ඥානයෙන් පෝෂණයවන ප්‍රතිභාව ද ඉවහල් කරගනී. ඒ මහා කලාකෘතිය නිමකිරීමේදී ලැබෙන ශාරීරික වේදනාවන් පවා ඔහුට ගෙනදෙන්නේ මිහිරකි. ඒ සැබෑ කලාකරුවාගේ ස්වභාවයයි.

රජී වසන්ත මේ කල්පිතයේ තවත් ඉදිරියට ගමන් කරයි. ඔහු මිළඟට මේ ගල්වඩුවාගෙන් අසන්නේ ඉසුරුමුණියේ කළුගලක නෙළු සුන්දරිය කොහි සිටීද යනුවෙනි. එහිදී රචකයා කල්පනා කරන්නේ ඒ ඔහුගේ ම හද ඇඳි ප්‍රතිබිම්බයක් බවයි. රචකයාගේ සිතුවිල්ල සාධාරණ ය. මන්ද කලාකරුවාගේ හදවත බොහෝවිට ඔහුගේ නිර්මාණයන්ගෙන් හඳුනාගත හැකි බැවිනි.

මේ කලාකරුවා කෙරෙහි විශාල දයා අනුකම්පාවක් හටගන්නේ මේ අවසාන ප්‍රකාශය හේතුවෙනි. අනුන්ගේ ආදරය කැටයමට නඟන ඔහු තාම ජීවිතයේ තනිකඩයෙකි. ඇතැම්විට ඔහුගේ පෙම්බරිය ඔහු ව අතැර දමා යන්නට ඇත. මුතුබෙල්ලකු තම වේදනාව මුතු බවට පත්කරන්නා සේ මේ කලාකරුවා තම ජීවිතයේ ලද අනේකවිධ දුක්වේදනා නිර්මාණ බවට පත්කරයි.

සමස්ත අව්‍යාජ කලාකරුවන්ගේ යථාර්ථය මේ නිර්මාණය ඔස්සේ රචකයා විසින් ප්‍රදර්ශනය කරනු ලබයි. සැබවින්ම අවුකන පිළිමයට දෑස දුන් මිනිසා කලාකරුවෙකි. එසේ නම් රචකයා සොයා යන්නේ කලාකරුවකු ය. ඔහුට කලාකරුවා මුණගැසෙයි. ඔහු දුක වළඳන්නෙකි. ඒ මඟින් අව්‍යාජ කලාකරුවන් බහුතරයක්තම නිහතමානී බව නිසා ම, හුදෙකලා වන ආකාරය ප්‍රදර්ශනය වෙයි.

මේ නිර්මාණයට සංගීතය සපයන්නේ තරුණ සංගීතඥයෙකි. ඔහු පොළොන්නරුවේ ඈත පිටිසර ගමකින් බිහිවුණ ඉඳහිට කොළඹට එන, තරුණ සංගීතවේදියෙකි. පද රචනයක සමස්ත අර්ථය මනා ව ස්පර්ශ කිරීමේ හැකියාව මේ සංගීතඥයා සතු ව පවතී. බටනළාව, වයලීනය වැනි සංගීත භාණ්ඩ වැඩි අවස්ථාවලදී යොදාගෙන මේ කලාකරුවාගේ ශෝචනීය ඉරණම රසික හදවතට කාවැද්දීමට රුවන් දර්ශන දිසානායකයෝ සමත් වෙති. තරුණ සංගීතඥයන්ට ඔහු සපයා ඇත්තේ කදිම මාර්ගෝපදේශයකි.

අද අපට කනවැකෙන බොහෝ නිර්මාණ විවිධ නාදවලින් හිදැස් පිරවූ නිර්මාණ ය. වාර්තාමය පද මාලාවන්ට සංගීතමය සැරසිලි දමා රසිකයා ඉදිරියට ගෙන ඒම මෙහිදී සිදුවෙයි. එයට තවත් අරුත්සුන් රූපමාලාවක් එක්කරගනී. සින්දු අහන පරම්පරාවක් නොව සින්දු බලන පරම්පරාවක් එමඟින් බිහිවෙයි.

ගායක ගායිකාවන් ගේ විවිධ ඉරියව් නරඹමින් මානසික උත්තේජනයක් හා ලිංගික උත්තේජනයක් ලබන පරපුරක් ගොඩනැඟෙමින් පවතී. මේ පදරචකයන්ට හා සංගීතඥයන්ට උඩුගම්බලා පිහිනන්නට සිදුවන්නේ මෙබඳු පරිසරයක ය. එහෙත් මෙබඳු ගීත ගැයීමට මේ පරිසරයේ සුනිල් එදිරිසිංහයන්ට හැකිවීම, එක්තරා භාග්‍යයකි.

මම මනසින් අතීතයට ගමන් කරමි. අනුරාධපුර පොළොන්නරු රාජධානි කරා මගේ මනස ඇදී යයි. ඒ අතර මහා කළුගලක් දෙස බලාසිටින කුඩා මිනිසකු මට දිස්වෙයි. ඔහු අතේ ගල්කටුවක් ද මිටියක් ද ඇත. ඔහු ඒ ගල්කටුවෙන් මහා කළුගලට තට්ටු කරන්නට පටන් ගනියි.

දින සති මාස ගෙවී යයි. මහා බුදුරුවක් මා ඉදිරියේ දිස්වෙයි. ගල්කටුව හා මිටිය තම මල්ලට දමාගන්නා මේ මිනිසා, ගමන්මල්ල වෑ කන්දේ තබා වැවට බැස දියනා ගනියි. නැවත ගමන් මල්ල රැගෙන ඉලුක් සෙවිලි කළ තම මැටි පැල කරා ගමන් කරයි. ඒ පැල ඉදිවී ඇත්තේ කලාවැව අසලයි. පුරා හඳ පැලට ඉහළින් බැබළෙයි.

ඔහු මැටි පිල මත පැදුරක් එළා, රිදුම් දෙන තම ශරීරය පිරිමදිමින් කලාවැවේ මැරෙන උපදින රළ දෙස උපේක්‍ෂාවෙන් බලා හිඳියි. ඔහුට තමා ව අතහැර ගිය සුන්දරිය සිහිවෙයි. ඇය හා ගෙවු සොඳුපැ නිමේෂයන් සිහිපත් වෙයි. ඇය හා ගෙවු සොඳුරු නිමේෂයන් සිහිපත් වෙයි.

කඳුළු පිස නිදාගන්නා ඒ මිනිසා උදෑසනින් අවදි ව ගල්කටුව හා මිටිය තම ගමන් මල්ලේ දමා ගෙන ඉසුරුමුණිය දෙසට ගමන් කරයි.

උපුටා ගැනීම -
facebook.com/rasavindana - රසවින්දන FB පිටුවෙනි

පද රචනය : රජී වසන්ත වෙල්ගම - Raji Wasantha Welgama
තනු නිර්මාණය : රුවන් දර්ශන දිසානායක - Ruwan Dharshana Disanayaka
ගායනය : සුනිල් එදිරිසිංහ - Sunil Edirisinghe
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

Comments

  1. මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා... මම ගියා අවුකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා..
    …ගීතයට කරන සදාරනයක් වශයෙන් මෙය නිවැරදි කරන්න

    ReplyDelete
  2. Sunil edirisinghe, What a voice, I have never heard such a such a voice.

    ReplyDelete

Post a Comment