සඳකඩපහණක කැටයම් ඔපලා - Sandakada Pahanaka Katayam Opala

සඳකඩපහණක කැටයම් ඔපලා - Sandakada Pahanaka Katayam Opala


සඳකඩපහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලැතුණු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවී

යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැළවෙද්දී

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බින්දු
ගව්වක් ඉහළක ගොනු කොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දූ

අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහු වුණු වැහි බින්දු
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ


සඳකඩපහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලැතුණු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවී

යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැළවෙද්දී
සියුමැලි කැකුළක් මැළවෙද්දී

හද විල ඉපැදුණු කැකුළක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා

ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා
සිටී බලා

සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්...

සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී.....

තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට,

කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී...

මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි.

සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා,

ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා

යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී

නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී...

මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය,

දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු...

ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා,

අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු...

මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්,

ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ...

පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා,

හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා....

තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න,

මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා...

මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි,

ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා

රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා....

මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා


උපුටා ගෑනීම - https://www.facebook.com/janawahara
පද රචනය : වොලී නානායක්කාර - Woli Nanayakkara
තනු නිර්මාණය : වික්ටර් රත්නායක - Victor Rathnayaka
ගායනය : සුනිල් එදිරිසිංහ - Sunil Ediringhe

වෙනත් : මාතර ආච්චී(1970) චිත්‍රපටයේ ගීතයකි. සුනිල් එදිරිසිංහයන්ගේ ප්‍රථම ගීතය වන අතර වික්ටර් රත්නායකයන්ගේ ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයයි. මාතර ආච්චී චිත්‍රපටය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය ද වේ.
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.


Comments