සුදු නෙළුම කෝ සොරබොර වැවේ - Sudu neluma ko Sorabora wawe

ගීතයේ තේමාව - Title Of the Song


සුදු නෙළුම කෝ 

සුදු නෙළුම කෝ සොරබොර වැවේ 
මල් සුවද දුන් මහියංගනේ 
පුන්පොයදා පාළොස්වකේ 
මල් නෙලා විකුණු පන්සලේ

වැවට කළුවර යා වුනා 
සංසාර දුක බෝ වුනා 

වැවට කළුවර යා වුනා 

සංසාර දුක බෝ වුනා 
නෙලූ මල් මිට ඉහිරුනා 
එහා ඉවුරට පා වුණා

සුදු නෙළුම කෝ සොරබොර වැවේ 

මල් සුවද දුන් මහියංගනේ 

සිහින සිරිපොද වෑහුණා 
ඉවුරු දෙකොපුල් සේදුනා
සුදු නෙලුම් මල දෑස පියවි 
මෙහා ඉවුරට පා වුණා 

සුදු නෙළුම කෝ සොරබොර වැවේ 

මල් සුවද දුන් මහියංගනේ 
පුන්පොයදා පාළොස්වකේ 

මල් නෙලා විකුණු පන්සලේ

සුදු නෙළුම කෝ 


මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ගමේ කුඩා දැරියක් ජිවත් වෙනවා. පවුල නඩත්තු කරන්නේ ඇය විසින් වැවෙන් මල් කඩාගෙන ඒවා විකුණමින්. මේ සිදුවීම සිදුවන්නේ 1981 දී, ඇය පාසල් යන්නේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයට, ඒ සිදුවීම වන විට අගේ වයස අවුරුදු 11 ක්. සත්‍ය සිදුවීමට අනුව ඇය මල් විකුණා ඇත්තේ දෙමටමල් විහාරයේයි. ගීතයේ රිද්මය ආරක්ෂා කරගැනීම සදහා වැව සහ පන්සලේ වෙනසක් සිදුකර තිබේ. 
මේ සිදුවීම පිළිබදව රත්න ශ්‍රී විජේසිංහයන් සිදුකල ප්‍රකාශයක් උපුටා දැක්වීමට කැමැත්තෙමි.

"1981 අවුරුද්දේ ඒ කාලේ තිබුණු ආණ්ඩුව මාව ගහක් උගුල්ලනවා වගේ ගලවල විසි කරනවා මොනරාගලට, මාව වැටෙන්නේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය කියන ඇති දුෂ්කර පාසලට . ඒ පාසලේ දරුවන්ට වැසිකිලියක් වත් තිබුනේ නෑ ඒ පාසලට ආව 7 පන්තියේ දැරියක් බොහොම දක්ෂයි. දවසක් පන්තියට ගියාම මේ දැරිය හිටියේ නෑ. මම ඇහුව ඇයි කියල දැනගන්න ලැබුනේ කනගාටු දායක ප්‍රවෘත්තියක් ඇය මැරිල කියලා. මම වරුවක නිවාඩුවක් දාල තව ගුරුවරයෙකුත් එක්ක යනවා අගේ මළගෙදර හොයාගෙන. ඒ මළගෙදර තිබුනේ ඔක්කොම්පිටිය දෙමටමල් විහාරයේ පොඩි වැවක් තිබුණා ඒ වැවට කිට්ටුව. දෙමටමල් විහාරය කියන්නේ දුටුගැමුණු සද්ධාතිස්ස යුද්ධය තිබ්බ කාලේ සද්ධාතිස්ස හැංගුණ පන්සල. ඒ ගේ කටුමැටි ගාපු ගෙයක්. ගේ කොච්චර පොඩිද කියනවානම් ඒ ගෙදර අගේ දේහය තියන්නවත් ඉඩක් තිබුනේ නෑ. ගෙයින් එලියට යාලත්තක් බාල දේහය තැම්පත් කරලා තිබුණා. ඒ මඩුව හදල තිබුනෙත් පෙට්ටිය අරන් දීල තිබුනෙත් ගමේ ඇය සල්ලි එකතු කරලා. මට හොදට මතකයි ඇයට අන්දලා තිබුනේ පාඩු පාට වෙච්ච පාසල් ඇදපු සුදු ගවුම. මළගෙදර දහයක් දොළහක් වත් හිටියේ නෑ. කවුරුත් අඩුවේ නෑ. තාත්ත මැදිවියේ කෙනෙක් මගේ වයස ඒ වෙනකොට 25 ක්. මම තාත්තට කිට්ටුවෙලා අහනවා මොකද වුනේ කියලා තාත්ත කියනවා , මහත්තයෝ මේ ළමයා හැමදාම ඉස්කෝලේ ගිහිල්ලා වැවට යනවා මල් කඩන්න, මල් කඩලා විකුනනවා පන්සලට යන ඇයට, එයා ඒ මුදලින් එයාට අවශ්‍ය දේවල් ගන්නවා ඒ වගේම ඉතුරු වුනොත් ගෙදර වියදමටත් දෙනවා. ඒ නොවැම්බර් මාසේ වහිනවා වැඩියි. වැව පිරිලා දවස් දෙකකට පස්සේ පෝයක් එනවා පෝයට පන්සලට සෙනග එනවා වැඩියි. ඉතින් ඇය කල්පනා කළා වැඩියෙන් මල් කඩාගත්තොත් වැඩියෙන් විකුණගන්න පුළුවන් කියලා. ඇය රෑ වෙනකන් ගෙදර අවේ නෑ. මිනිස්සු කළුවර වෙනකොට හුළු අතු පත්තුකරන් හොයනවා.හොයාගන්න බැරි වුණා පහුවෙනිදා පාන්දර අගේ මිනිය
පාවෙලා ඇවිල්ල ගොඩගහල තියෙනවා වැවේ ඉවුරේ. අගේ අතේ ලිහී ගීය නෙලුම් මල් දෙකක් රැදිලා තිබුණා. මේ සිද්ධිය ඇහුණාම මහා විශාල කම්පාවක් මගේ හිතේ ඇතිවුනා."

පොහොය දවසේ මල් නෙලාගෙන පන්සලට ගොස් ඒවා විකුණන ඒ දැරියගේ ජීවිතය සරි කරපු වැවම අවසානයේ අගේ ජීවිතය බිලිගන්නවා. අගේ දේහය තැබීමට වත් නිසි ස්ථානයක් නිවසේ නොතිබුණු බව සදහන් වේ. කෙසේ නමුත් මේ සංවේදී අවස්තාව රත්න ශ්‍රී විජේසිංහයන් ඒ සංවේදී බව ආරක්ෂා කරමින්ම රචනා කර ඇති අතර පණ්ඩිත අමරදේවයන්ගේ මධුර ස්වරය එයට ජිවයක්‌ එකතු කරන්නේ අපේ නෙත් වලට කදුලක්ද එකතු කරමිනි.

අන්තර්ජාලය ඇසුරෙන්...
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ 
තනු නිර්මාණය : නම
ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
වෙනත් : නම
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.


Comments